ආයුෂ වැඩි වීම..


නිවාඩුව අවසන්ය.ඔලුවේ කෙස් ගස් ටික ඉතුරු වීමට දෙයියො බැලුවාක් මෙන් ශිෂ්‍යත්වය පාස් විය.දැන් ඉතින් නැවතත් ඉස්කෝලෙ යෑමට සිදුවෙයි,හය වසරට ඇතුලත් කිරීමට‍ අම්මා මා ඇදගෙන ගියේ පන්තියේ පුටු නැති වේයැයි මෙන් බයෙනි.මාස ගණනකට පසු පාසල දුටු මට වැලිකඩ බන්දනාගාරය මෙන් දිස්විය.මා ඊට පෙර බන්දනාගාරය එක් වරක් රූපවාහිනියේ දැක තිබිණි.නමුත් එහි තුළ සිටින්නා වූ මිනිසුන් නම් මා තරං පාඩන් කරනවා මා දුටුවේ නැත.අම්මානං කියා තිබුනේ "පාඩන් කරන එකා අනිත් එවුන්ට පේන්න පාඩන් කරන්නේ නැහැ"යි කියාය,එහෙයින් මා එසේ සිතීමි.අම්මා ඇදගෙන යන යන පැත්තට මාද යැවෙයි,ඒ හැරෙන්නට ඔලුව උස්සා මා අඩිය තියෙන්නේ කොහේටවත් දැයි බැලීමට මට උවමනා නොවීය.මා අම්මාගෙන් ඇසුවේ එකම පැනයකි,ඒ "ශිෂ්‍යත්වයත් අහවර වූ පසු නැවතත් ඉස්කෝලෙ යන්නේ ඇයි?" කියාය.අම්මා ගත් කටටම කීවේ මා හට තවත් ලොකුම ලොකු විබාගයකට මුහුණ දීමට ඇතැයි කියාය.මාව කරකවා අතෑරියාක් මෙන් විය.
අම්මා ස්වර ගැලපු අකාරයෙන් එම විබාගය ශිෂ්‍යත්වයට වඩා අනිවාර්යයෙන්ම ලොකු විය යුතුය.ශිෂ්‍යත්වයේ පේපරෙත් ඉස්සරහට මුහුණ පෑමට සිදුවන ලොකු විබාගයේ පේපරයේ ප්‍රමාණයත් සිතින් මනිමින් මා අම්මත් එක්කම යැවෙයි.

අම්මා කෙළගෙන ගොස් මාහට ඉගැන්වූ පහ වසරේ මිස්ව මුණගැසී මා දමා තිබු හය වෙනි සිරකුටියට මා ඇදගෙන ගියාය.එයනම් ඇත්තෙන්ම සිර කුටියක ස්වරුපය ගත්තේය.දෙපැත්තෙන්ම විශාල ගනකම බිත්ති වලට සවි කරා වූ දැල්ය,පන්තියටම වෙන් වූ තඩි යකඩ ගේට්ටුවකි,එක් අතකින් එයට සිරකුටියකටත් වඩා බලු කුඩුවක් මෙන් කීම නිවැරදිය.අම්මා කියා තිබු ආකාරයට හය වසර යනු ලොකු පන්තියකි,එයනම් සැබෑවකි.එමෙන්ම එහි සිටින ළමුන්ද මට වඩා තරමක් ලොකු හෙයින් මෙලෙස යකඩ බාවිතා කර ඇතැයි මට සිතිනි.කේසේ නමුත් මා හටනං එය සිර මැදිරියක්මය.අම්මා මා ඇදගෙන ගොස් ගුරු මේසය අසලම පුටුවක ඉන්දවා අම්මාගේ පරණ,ඇයටම ආවේණික වූ වැකි ටික කියාගෙන ගියාය.අවුරුදු හතක්ම ඒවා අසා ඇති හෙයින් මට ඒවා කට පාඩන්ය.එහෙයින් ඒවා වැඩිය කනට නොගෙනම අම්මා කියූ කියූ එකට මා කරේ ඔලුව වැනීම පමණි.ඇය මේ අවුරුද්දේ පරණ වැකි වලට අමතරව තවත් දේවල් එකතු කලාදැයි මට ඇසුනේ නැත.

පැමිණ සිටි සියලු ළමුන්ගේ දෙමාපියන් පන්තියෙන් පිටව ගිය පසු  පන්තිබාර මිස් පන්තියට පැමිණියාය.මා නම් මිට පෙර මේ මිස්ව ඉස්කෝලේ අහලකවත් දැක තිබුනේ නැත.එහෙත් අනිත් ළමුන් නම් දැක තිබේ.ඊට හේතුව මා පන්තියෙන් බැහැරව සිටි කාලය අඩු කම වෙන්නට ඇත.මන්ද අම්මා කියා තිබුනේ පන්තියෙන් එලියට නොගොස් එහි තුල සිටම වැඩ කරන්නට කියාය.මිස් පන්තියට පැමිණි පසු අපට "ආයුබෝවන්" කීය.අපිද පැනපු ගමන් එසේම කීය..මිස් ඊළඟට ඇසුවේ "ආයුබෝවන්" කියන එකේ තේරුම මොකද්ද?කියාය.එවෙලේනම් අපි කොර විය,අවුරුදු හතක්ම මෙය උච්ඡ ස්වරයෙන්ම කියා තිබුනත් එහි තෙරුමක්නම් මම දන්නේම නැත.සියල්ලන්ම නිහඬව සිටින අතර එකෙක් නැගිට "මිස්..ආයුෂ වැඩි වෙන්න! කියන එක" කීය.අනිත් උන් කියන ආකාරයට පොර ශිෂ්‍යත්වය පාස් වී අපේ ඉස්කෝලෙට ආපු ඩයල් එකකි.එහෙයින් ඌ වැඩ්ඩෙකි.ඌ එහි තේරුම දන්නෙත් මා එහි තේරුම නොදන්නෙත් මා ගිය ශිෂ්‍යත්ව පන්තිය තරමක් හොඳ නැති නිසා වන්නට ඇත.එසේ කියන්නේ අම්මාය.එහෙයින් එය මගේ වැරද්දක් නොවන නිසා මා තරමක් සතුටු විය.ඌ එසේ කීවාට "ආයුෂ" යනු කුමක්දැයි කියාද මා දන්නේ නැත.මා එසේ සිතනවාත් සමගම මිස් එහි තේරුම කියාගෙන යන්නට විය."ආයුෂ වැඩි වෙනවා කියන්නේ..අපි ජිවත් වෙන කාලය වැඩි වෙන එකයි" කියා මිස් ඇය ගැන පම්පොරියක් දිග හරින්නට විය.මට ඒවා කිසිත් අසුනේවත් නැත.මට සිහි වුයේ මෙපමණය..දැන්නං මළ කෙළියකි!!එහි අදහස වනුය් මා හට තවත් විබාග බර ගණනාවකට මුහුණ පෑමට සිදුවනවාය යන්නය.

ආච්චි අම්මා කියූ ආකාරයට පවි වැඩ කළහොත් අපායේ යයි,එසේම පින් අතේ වැඩ කළහොත් දිවියලෝකේ යයි.ඔය දෙකම වන්නේ අපගේ ආයුෂ අහවර වූ පසුවය,එහෙයින් විබාග කළහොත් යන්නේ කොහිදැයි? මට ආච්චි අම්මගෙන් අසාගැනීමට නොහැකි විය.මා සිතන්නේ ආච්චි අම්මාද විබාග නොකර සිල් ගන්නේ දිවියලෝකේ යන අදහසිනි.නමුත් සීයා ගියේ කොහිදැයි ඇය දන්නේ නැත.සීයා ගැන ඇසූ පසු ඇය කියන්නේ අදවනතුරු ඔහුගෙන් ලියුමක්වත් ආවේ නැතැයි කියාය,මා නම් සිතන්නේ ඔහුද යන්නට ඇත්තේ දිවියලෝකයේමය.නමුත් ආච්චි අම්මාද එහි ගිය පසු අනිවාර්යෙන්ම ඔහු නැවත මෙහි එන වගනම් සුවර්ය.

1 comment: