
එන්න එන්නම තත්වය දරුණු වෙයි.අම්මා මා තවත් පාසලකට දැමීමට හදයි.ඊට හෙතුවක්නම් මා දන්නේම නැත.සමහර විට මා හොඳින් ඉගෙන ගන්නා නිසා වන්නට ඇත.මන්ද ශිෂ්‍යත්වය පාස් වී අපේ ඉස්කෝලෙට ආවේද වැඩ්ඩෝය.එහෙයින් අපේ ඉස්කෝලේ සිට මා වෙනත් පාසලකට දමන්නේ මාත් වැඩ්ඩෙක් යයි අම්මා සිතන නිසා වන්නට ඇත.මටනං සුවර්ම නැත.
අම්මා කියනා ආකාරයට මට හැම බලු වැඩයම පිළිවන,එහෙත් පන්සිල් බැරිය..අම්මා කියන්නේ බොරුය.මට බලු වැඩද බැරිය.නමුත් මට පන්සිල් වලින් එක් සීලයක් පුළුවන..ඒ "සුරා මේරය මජ්ජපමා දට්ටානා"ය.එහිත් අවසාන හරිය බැරිය.අම්මා කියූ ආකාරයට ඇය මා ඇතුලත් කිරීමට යන්නේ දහම් පාසලකටය.එහෙයින් ඇයගේ අරමුණ මා බොදු දරුවකු කිරීමටය.බොදු දරුවා යනු මොකෙක්දැයි ඇය කිවේ නැත.මා සිතන්නේ ඇය එහි තේරුමක් දන්නේ නැත.එහෙයින් එහි තේරුම මටම සොයා ගැනීමට සිදුවිය.පසුව වැඩි වෙහෙසක් නොගෙනම බොදු දරුවා වනාහි දෙපා සත්වයෙක් ලෙස මා හැඳින ගති.අම්මා මා එයින් එකෙකු කිරීමට වෑයම් කරයි,එහෙත් ඇයගේ උත්සාහය මල් පළ ගැන්වේ දැයි මට සුවර් නැත.අම්මා කීවේ මා ඉස්කෝලෙන්ද අස් නොකරන බවය,කෙළ වෙනවාය! මා හට දැන් පාසල් දෙකකටම යෑමට සිදුවෙයි.නිවනක් නම් ඇත්තෙම නැත.

අම්මා මා ඇදගෙන ගොස් ළඟම ඇති පන්සලට බන්දා දුන්නාය.ගස් බැන්දානං මෙයිට සැපය.එපමණක් නොව,මා හට සුදු සරමක් හා අත් දිග කමිසයක්ද ඇන්දුවාය.මා ජීවිතයටම එයින් එකක් ඇඳ නැති හෙයින් මටනං එය මෙලෝ රහක් නැත.කෙළගෙන යන්නටද බැරිය,සරම පැටලී ඇදගෙන වැටෙනවාය.
එයනන් තරමක් හෝ ඉවසන්නට පිළිවන.එහෙත් දහම් පාසලේ උදේ රැස්වීමනං ඉවසන්නටම බැරිය.පැය එකහමාරක් පමණ අව්වේ කට්ට කන්නට වෙයි.එහෙත් ලොකු හාමුදුරුවන්නං වදාළන්නේ උදේට කන කට්ටේ විටමින් D ඇතැයි කියාය.නමුත් හාමුදුරුවෝ අව්ව වදින්නේ නැති තැනක සිට එසේ වදාළන්නේ ඇයි දැයි මට ප්‍රස්නයකි.ලොකු හාමුදුරුවන්ගේ සිරසේ කේස දාතූ විරල වීමටද හේතුව විටමින් Dයන්හි ආනිසංස යැයි මට සිතේ.උන්නාන්සේද මාගේ වයසේදී දහම් පාසල් වඩින්නට ඇත.එහෙයින් මා හටද වන්නේ ඒ ආනිසංසයමය.

කෙසේ හෝ මට තවත් අලුත් යාලුවන් පිරිසක් මෙහිදී සෙට් විය.උන්ද මං වගේමය.මෙලෝ රහක් නැත.නමුත් දහම් පාසල ඉස්කෝලයට වඩා තරමක් ෆට්ටය..මා එසේ කියන්නේ ඉස්කෝලේ මෙන් දහම් පාසලේ අමර,නයනා සහ සල් මල් ගස් නැති නිසාය.එහෙත් දහම් පාසල වටේටම අඹ ගස්නම් එමටය.විවේක කාලයට කොල්ලන් පොලු කෑලි එකතු කරයි.ගිනි මැල ගැසීමට නොව.අඹ ගැට කැඩිමටය.උන් දිගට හරහට පොලු කෑලි ගසා මෙලෝ රහක් නැති අඹ ගැට කඩයි,කඩා සපයි,සපා විසිකරයි.එයද මෙලෝ රහක් නැති ක්‍රියාවකි.උන් අඹ ගැට කන අතර මා දහම් පාසලෙන් දවල්ට ලැබෙනා කඩල ඇට කයි.එයද කන්නේ බඩගින්නකට නොව විසි කිරීමට නොහැකි නිසාය.මන්ද විසි කරහොත් හොත් විසි කරපු එකා අල්ලා ගැනීමට පුර්ණ බලතල ලොකු හාමුදුරුවන් විසින් සිස්ස නායකයන් හට ලබා දී ඇත.මන්ද ලොකු හාමුදුරුවන් වදාලන්නේ දහම් පාසල සඳහා රජයෙන් ආදාර නොලැබෙන හෙයින් උන්නාන්සේ බොහෝම වෙහෙස මහන්සියෙන් කඩල ඇට තම්බා අපට ගිල්වන බවයි.උන්නාන්සේගේ සත් ක්‍රියාවට පයින් ගැසීමට බැරි හෙයින් මාද කඩල ඇට ගිලියි.කෙසේ නමුත් කඩල ඇට වලට පින් සිද්ද වීමට මා හට දැන් කලින්ට වඩා තරමක් පන්සිල්ද පිළිවන.ඉස්කෝලේ මිස් කියා ඇති ආකාරයට කඩල වලට මොලේ වැඩෙයි.
neeee sira? mamath kanta one kadala
ReplyDelete