මා බාල කාලේ...


බාල කාලය වනාහී අහන අහන එකා කියන්නේ ෆට්ටාම ඒකක්‌ කියාය.එහෙයින් මාත් එසේම කියමි.ඇත්තටම එය එසේමය.එය එසේ වන්නට හේතුව ශිෂ්‍යත්ව විබාගය විය හැකිය.ශිෂ්‍යත්වයද යනු ෆට්ටාම එකකි.මා මොන්ටිසෝරි ගියේද ශිෂ්‍යත්වය කිරී‍මටය,පාරේ ඇවිදින විටද ශිෂ්‍යත්වය ය,කනවිටද ශිෂ්‍යත්වය ය,නාන විටද ශිෂ්‍යත්වය ය,කොටින්ම රාත්‍රි ආහාරයට පසු නින්දට යාමට පෙර දෙවරක් ශිෂ්‍යත්වය මෙනෙහි කර වරක් අමල් සහ නයනා සිහි කර තවත් වරක් අලගිය වන්න මුකවැටි තුමා සහ එස්.මහින්ද හාමුදුරුවන්ද සිහිකර..අවසානයේ අම්මාද සිහිකර මට නින්දට යෑමට විය.සියල්ල අවසන් කර නින්දට යෑමට සැරසෙත්ම අම්මා බෙරිහන් දෙයි.ඒ අන් කිසිවකට නොව..එළි වී ඇතැයි හැගවිමටය.එහෙයින් එය විබාගයක්‌ නොව අබාගයකි.නින්ද යාමට පෙර අවදි වන්නා වූ සෑම අයෙක්ම කියන්නේ බාල කාලේ හරිම සුන්දරයි කියාය.එය කිසිවෙකුටත් මුසාවක් කළ නොහැක.මන්ද මා එය අත්දැකීමෙන් පවසන්නක් නිසාය.

දැන් මා පාසල් යාමට සුදානම් විය යුතුය.නිදි මත තුරන් කිරී‍මේ පරමාර්ථයෙන් සිරිත් මල්දමේ කවි කිය කිය එන මා අම්මා ඇදගෙන ගොස් නාන කාමරයට දමා කරාමය ඇර ඔලුවට වතුර අල්ලයි.මද වෙලාවක් සිටි පසු මා පියවි සිහියට පැමිණේ.වෙඩි කාපු ඌරකු මෙන් ඇදුම් ඇදගන්නා මම බස් එක එන තෙක් පරිසරය පොත ගෙන බස් නැවතුම්පළ වටේ වැවී ඇති වල් පැලෑටි ගැන සමික්ෂණයක නිරත වෙයි.ඒ පරිසරයට ඇති ආදරය නිසා නොව කාලය රන් හා සමානය කියා කවුදෝ කියා ඇති නිසාය.එහෙයින් රන් යනු ඉතා වටිනා දෙයක් යැයි මා ඉටා ගතිමි,මා මෙන්ම අධ්‍යාපනයේ යෙදුනාවූ බොහෝ දෙනා අද පරිසරවේදීන්, රන් කරුවෝ සහ ඔරලෝසූ කාර්මිකයෝ වී ඇත්තේද ඒ නිසා යැයි මට සිතේ.බසයට නගින විට අම්මාගේ කටින් සෑමදිනකම පිටවුයේ "කෑගහන්නේ නැතුව,දගලන්නේ නැතුව ,මිස් කියන දේ අහගෙන ඉස්කෝලෙ ගිහින් වැඩ කරන්න" කියාය.ඒ නිසා මං බස් එකට නැග්ගේද අන් සියල්ලන්ම නැග්ගායින් පසුවය. පාසලට ගිය පසු විවේක කාලයේද මා ඇවිද්දේ සහ වැසිකිලි පවා ගියේ පෝලිමටය.මන්ද දිනක් පන්තියේ මිස් "අම්මා කියන දේවල් අහන්න ඕනෙ හොඳ ළමයි උනාම"කියා කියූ නිසාය...මිස් කියන දෙයද අම්මා කියන දෙයද වැඩියෙන්ම අහන්න ඕනෙ..යන පැනයට පිළිතුරු මම අදටද සොයයි.


මිස් උගන්වන්නාවු කිසිම දෙයක බරක් පතලක් දිගක් පළලක් මට නොතේරුණු නමුත් ඇය කියන දෙය අසාගෙන සිටියේ අම්මා කියූ නිසාය.පාසල ඇරුනයින් පසු ගාල කඩාගත් මී හරක් මෙන් ළමයින් මලු අරගෙන පාසලෙන් පැන දුවති.ඔවුන් සියල්ල ගිය පසු මම බැගයත් ගෙන එලියට එන්නේ දුවන විට වැටෙනවා යැයි දැන දැනත් අල්ලපු ගෙදර කොලුවා දුවගොස් කොන්ද කඩා ගත් නිසාය.ඇසින් දුටු ප්‍රථිපල ඇති හෙයින් කොන්ද කඩා ගැනීමට අකමැති වූ මා හිමින් සීරුවේ ගොස් බසයට නගී.බසයට නැග්ග විගස මා නින්දට සැරසෙන්නේ ගෙදර ගිය විට නින්දක් ගැන සිතීමටවත් මට කාලයක් නොමැති නිසාය.

ගෙදර යන විට අම්මා පාට ඇදුමක් සහ බත් පිගානක් තබා ගෙන උළුවස්ස ගාව සිටි.ඊළගට කල යුතු දෙය මා පළපුරුද්දෙන් දනී,උළුවස්ස අසල සිට මා හට ඇත්තේ සවස පන්තියට යෑම සදහා සුදානම් වීමටය.මා යන යන තැනට අම්මා බත් පිගානත් ගෙන පස්සෙන් එයි.හුස්ම හිර වන තෙක් බත් ගිල්වූ පසු ඇඳුමත් අන්දවා ගෙන ශිෂ්‍යත්ව පන්තියට ඇදගෙන යයි.අම්මා ඉගෙන ගැනීමට බොහෝ ආස කරන්නේ යැයි විටෙක මට සිතේ.පන්තියේ සිට ගෙදර පැමිණි විටද නැවතත් එකම චක්කරයමය.දෙවරක් සිට අටවරක් වෙනතුරු පාඩං කිරීම ඊට වඩා පහසුය.

1 comment: