නිවාඩු රහිත නිවාඩුව..


දෙවැනි වාර අබාගයද අහවරය.දැන් අගෝස්තු නිවාඩුව කියා එකක් එයි.එය දෙන්නේ මොකකටදැයි මං නොදනී.නමුත් ඒ කාළය අතරතුර ශිෂ්‍යත්වය හා තවත් මොකද්දෝ අකුරු දෙකේ අබාගයක්‌ ඇති බවනං ආරංචිය.එය කරන්නේ මා දන්නා තරමින් නම් අපට වඩා ලොකු එවුන්ය.නිවාඩුවක් යනු විවේක කාළයකි,විවේක කාලයක් යනු වැඩ රහිතව සිටින කාළයකි,වැඩ රහිත කාලයක් යනු ඔලුව නිදහස් වන කාළයකි.ඔලුව නිදහස් වීම යනු විනෝදයෙන් කල් ගත කළ  යුතු කාළයකි.නමුත් අගෝස්තු නිවාඩුව යනු පාසල පවත්නා කාළයට වඩා වැඩ අදික කාළයකි.ඇත්තෙන්ම මෙලෝම රහක් නැති නිවාඩුවකි.පාසල් ගොස් යහළුවන් සමග පිස්සු කෙළිමින් කෙසේ හෝ පාසලේ වැඩ කළ හැක.එයද කරන්නේ බොහොම අමාරුවෙනි.නමුත් යහළුවන් සමග සිටින විට ඉබේම ඒවා කෙරෙයි.අගෝස්තු නිවාඩුවෙන් කරන්නේ අප නිවෙස් තුළ සිර කර දෙමාපියන් ලවා අපගෙන් හරකුන් මෙන් බලෙන් වැඩ ගැනීමය.අම්මාට මළ පැන්න විට මා හට "උබනං හරකෙක්" කියන්නේද, අම්මා පාසල් යන කාලයේදීද අගෝස්තු නිවාඩුව දී ඇති නිසා වන්නට ඇත.මිස් කියා දී ඇති ආකාරයට "ආරේ ගති නෑරේ"ය.
කෙසේ හෝ මිස්ගේ ගතියට මෙවරද "නිවාඩු කාළයේ ගෙදර වැඩ" යනුවෙන් තඩියට බෝඩ් ලෑල්ලක් ගසා වැඩ ගෝනියක් මා කර පිට තැබීය.මා දැන් තවලමේ යන බූරුවා වැනිය.ගෙදර ගොස් ගෝනිය කරෙන් බෑවා විතරය.අම්මා දුවගෙන විත් එය අවුස්සන්නට වූයේ තාත්තා පඩි ගත්ත දින වැනිය.අම්මාට හරි සතුටුය,කට ඇරගෙන ගෝනිය අවුස්සයි,තාත්තාට බෝනස් ලැබුණු දින මෙන්ය.මන්ද මෙවර කලින්ටත් වඩා ගෙදර වැඩ දී ඇත.

තවත් පාසලක්..

න්න එන්නම තත්වය දරුණු වෙයි.අම්මා මා තවත් පාසලකට දැමීමට හදයි.ඊට හෙතුවක්නම් මා දන්නේම නැත.සමහර විට මා හොඳින් ඉගෙන ගන්නා නිසා වන්නට ඇත.මන්ද ශිෂ්‍යත්වය පාස් වී අපේ ඉස්කෝලෙට ආවේද වැඩ්ඩෝය.එහෙයින් අපේ ඉස්කෝලේ සිට මා වෙනත් පාසලකට දමන්නේ මාත් වැඩ්ඩෙක් යයි අම්මා සිතන නිසා වන්නට ඇත.මටනං සුවර්ම නැත.
අම්මා කියනා ආකාරයට මට හැම බලු වැඩයම පිළිවන,එහෙත් පන්සිල් බැරිය..අම්මා කියන්නේ බොරුය.මට බලු වැඩද බැරිය.නමුත් මට පන්සිල් වලින් එක් සීලයක් පුළුවන..ඒ "සුරා මේරය මජ්ජපමා දට්ටානා"ය.එහිත් අවසාන හරිය බැරිය.අම්මා කියූ ආකාරයට ඇය මා ඇතුලත් කිරී‍මට යන්නේ දහම් පාසලකටය.එහෙයින් ඇයගේ අරමුණ මා බොදු දරුවකු කිරීමටය.බොදු දරුවා යනු මොකෙක්දැ‍යි ඇය කිවේ නැත.මා සිතන්නේ ඇය එහි තේරුමක් දන්නේ නැත.එහෙයින් එහි තේරුම මටම සොයා ගැනීමට සිදුවිය.පසුව වැඩි වෙහෙසක් නොගෙනම බොදු දරුවා වනාහි දෙපා සත්වයෙක් ලෙස මා හැඳින ගති.අම්මා මා එයින් එකෙකු කිරීමට වෑයම් කරයි,එහෙත් ඇයගේ උත්සාහය මල් පළ ගැන්වේ දැයි මට සුවර් නැත.අම්මා කීවේ මා ඉස්කෝලෙන්ද අස් නොකරන බවය,කෙළ වෙනවාය! මා හට දැන් පාසල් දෙකකටම යෑමට සිදුවෙයි.නිවනක් නම් ඇත්තෙම නැත.

අම්මා මා ඇදගෙන ගොස් ළඟම ඇති පන්සලට බන්දා දුන්නාය.ගස් බැන්දානං මෙයිට සැපය.එපමණක් නොව,මා හට සුදු සරමක් හා අත් දිග කමිසයක්ද ඇන්දුවාය.මා ජීවිතයටම එයින්  එකක් ඇඳ නැති හෙයින් මටනං එය මෙලෝ රහක් නැත.කෙළගෙන යන්නටද බැරිය,සරම පැටලී ඇදගෙන වැටෙනවාය.

කවුරු වෙන්නද කැමති?..


පාසලේ තවත් දවසකි.මිස් පන්තියට ආවාය.ඇය අතේ තිබ්බේ කොළ කෑලි කිහිපයකි.කොළ කෑලි වල තිබ්බේ මොනවාදැයි අපි කිසිවෙක් නොදනී.සියල්ලන්ම කීවේ කොළ වල ඇත්තේ රූල් කියාය.මාත් එය විස්වාස කළෙමි.මන්ද මම කොළ කෑලි වල රූල් තිබෙනවා දැක ඇත.මිස් අපට කණ්ඩායම් හැදෙන්නට කීවාය.අපි සය දෙනා බැගින් වෙන්වී කණ්ඩායම් සාදගති.කණ්ඩායම් සඳහා නායකයෙක්ද පත් කෙරිණි.අපේ කණ්ඩායමටද නායකයෙක් පත් විය,ඒ "ගොට්ටාය".(අපි ඌට ගොට්ටා කියන්නේ සමච්චලයටය..මන්ද ඌ සෑම ගුරුවරයෙකුටම ගොට්ට අල්ලන නිසාය) නමුත් හිත හොඳ ඒකාය.එහෙයින් ගොට්ටා කියන කියන පදේට අපට නටන්න විය.

මිස් සෑම කණ්ඩායමකටම මිස්ගේ අතේ තිබුණු කොළ කෑල්ල බැගින් දුන්නාය.එය හිමිවුයේ කණ්ඩායමේ නායකයාටය,මිස් ඒවා බෙදා දී කළු ලෑල්ලේ පොල් අකුරෙන් "කවුරු වෙන්නද කැමති?" කියා ලීවාය.එහි තේරුමක් එකෙකුටවත් තේරෙන්නේ නැත.එක එකා උන් උන්ගේ මුණවල් බලයි.අවසානයේ අපි ගොට්ටාගේ මුණ බලා උගේ අතේ තිබුණු කොළ කෑල්ල දෙස බැලිය.මිස් කොළ කෑලි දිගහරින්නට කියන්නට ප්‍රථම අපි එය දිග හැර හමාරය.ගොට්ටා අතේ තිබුණු කොළ කෑල්ලේ තිබුනේ "Pilot" කියා ලියාය.මිස් හැමෝගෙම අතේ තිබුණු කොළ කෑලි වල ඇති දේ හයියෙන් කියවන්නට කීය.එක එකා නැගිට උන්ගේ අතේ ඇති දේ කියවීය.ගොට්ටා තරමක් වැඩ කරුය.ඌ නැගිට්ට ගමන් "පයිලොට්"කියා බෙරිහන් දුනි.එකෙකුටත් එය නොතේරුණු හෙයින් උන් ගොට්ටා බෙරිහන් දුන්නාට වඩා හයියෙන් සිනහ උනි.ගොට්ටාටද මල පැන්න නමුත් අපි ඌව සන්සුන් කළේය."පයිලොට්" වනාහී "මිස් කියු අකාරයටනම් "ගුවන් නියමුවාය."එහි ඇත්ත නැත්ත අපි දන්නේ නැත.එහෙත් මිස්ම කියූ නිසා පිළිගන්නට විය.

ආයුෂ වැඩි වීම..


නිවාඩුව අවසන්ය.ඔලුවේ කෙස් ගස් ටික ඉතුරු වීමට දෙයියො බැලුවාක් මෙන් ශිෂ්‍යත්වය පාස් විය.දැන් ඉතින් නැවතත් ඉස්කෝලෙ යෑමට සිදුවෙයි,හය වසරට ඇතුලත් කිරීමට‍ අම්මා මා ඇදගෙන ගියේ පන්තියේ පුටු නැති වේයැයි මෙන් බයෙනි.මාස ගණනකට පසු පාසල දුටු මට වැලිකඩ බන්දනාගාරය මෙන් දිස්විය.මා ඊට පෙර බන්දනාගාරය එක් වරක් රූපවාහිනියේ දැක තිබිණි.නමුත් එහි තුළ සිටින්නා වූ මිනිසුන් නම් මා තරං පාඩන් කරනවා මා දුටුවේ නැත.අම්මානං කියා තිබුනේ "පාඩන් කරන එකා අනිත් එවුන්ට පේන්න පාඩන් කරන්නේ නැහැ"යි කියාය,එහෙයින් මා එසේ සිතීමි.අම්මා ඇදගෙන යන යන පැත්තට මාද යැවෙයි,ඒ හැරෙන්නට ඔලුව උස්සා මා අඩිය තියෙන්නේ කොහේටවත් දැයි බැලීමට මට උවමනා නොවීය.මා අම්මාගෙන් ඇසුවේ එකම පැනයකි,ඒ "ශිෂ්‍යත්වයත් අහවර වූ පසු නැවතත් ඉස්කෝලෙ යන්නේ ඇයි?" කියාය.අම්මා ගත් කටටම කීවේ මා හට තවත් ලොකුම ලොකු විබාගයකට මුහුණ දීමට ඇතැයි කියාය.මාව කරකවා අතෑරියාක් මෙන් විය.
අම්මා ස්වර ගැලපු අකාරයෙන් එම විබාගය ශිෂ්‍යත්වයට වඩා අනිවාර්යයෙන්ම ලොකු විය යුතුය.ශිෂ්‍යත්වයේ පේපරෙත් ඉස්සරහට මුහුණ පෑමට සිදුවන ලොකු විබාගයේ පේපරයේ ප්‍රමාණයත් සිතින් මනිමින් මා අම්මත් එක්කම යැවෙයි.

අම්මා කෙළගෙන ගොස් මාහට ඉගැන්වූ පහ වසරේ මිස්ව මුණගැසී මා දමා තිබු හය වෙනි සිරකුටියට මා ඇදගෙන ගියාය.එයනම් ඇත්තෙන්ම සිර කුටියක ස්වරුපය ගත්තේය.දෙපැත්තෙන්ම විශාල ගනකම බිත්ති වලට සවි කරා වූ දැල්ය,පන්තියටම වෙන් වූ තඩි යකඩ ගේට්ටුවකි,එක් අතකින් එයට සිරකුටියකටත් වඩා බලු කුඩුවක් මෙන් කීම නිවැරදිය.අම්මා කියා තිබු ආකාරයට හය වසර යනු ලොකු පන්තියකි,එයනම් සැබෑවකි.එමෙන්ම එහි සිටින ළමුන්ද මට වඩා තරමක් ලොකු හෙයින් මෙලෙස යකඩ බාවිතා කර ඇතැයි මට සිතිනි.කේසේ නමුත් මා හටනං එය සිර මැදිරියක්මය.අම්මා මා ඇදගෙන ගොස් ගුරු මේසය අසලම පුටුවක ඉන්දවා අම්මාගේ පරණ,ඇයටම ආවේණික වූ වැකි ටික කියාගෙන ගියාය.අවුරුදු හතක්ම ඒවා අසා ඇති හෙයින් මට ඒවා කට පාඩන්ය.එහෙයින් ඒවා වැඩිය කනට නොගෙනම අම්මා කියූ කියූ එකට මා කරේ ඔලුව වැනීම පමණි.ඇය මේ අවුරුද්දේ පරණ වැකි වලට අමතරව තවත් දේවල් එකතු කලාදැයි මට ඇසුනේ නැත.

ලොකු මහත්තයෙක් වීම..


ශිෂ්‍යත්වයනං අහවරය.මා හට දැන් කකුල් හතරෙන් සිටගැනිමටවත් පන නැත.පාඩම් කරපුවායින් ඔලුව බරය.හිස කෙලින් තබාගත්තේද බොහොම අමාරුවෙනි.දැන් මහන්සි හරින්නට හොඳ කාලයක් එලඹ තිබේ.දිනක් හදිසියේම කොහේදෝ සිටි ආච්චි කෙනෙකු ගෙට කඩාගෙන වැදුනාය.අම්මානං කිවුවේ ඒ මගේ ආච්චි අම්මාය කියාය.ඒ කියන්නේ අම්මගේ අම්මලු.මටනං සුවර්ම නැත.ඒත් අම්මා පුන පුනාම කියූ නිසා පිළිගන්නටම විය.ඒත් සුවර්ම නැත..හැබැයි ඇයට හැට පැන ඇති බවනම් සුවර්ය.

ආච්චි අම්මා පැමිණි විගසම මාව බදාගෙන "පුංචි කාලේ දැක්කට පස්සේ දැක්කේ" කීවාය.ඒත් මටනං දැක්කද කියා මතකයක් නැත.ඒත් ආච්චි අම්මා දැක්කාම කියන නිසා පිළිගන්නට විය.අපේ අම්මාද පැනගෙන ගොස් ආච්චි අම්මාව ගේ තුලට ඇදගෙන ආවාය.දෙන්නා තොර තෝංචියක් නැතුව කියවන්නට ගත්තේය.ගමේ තමන්ගේ ගෙට වඩා අනුන්ගේ ගෙවල් ගැන ආච්චි අම්මා හොඳහැටි දන්නේය.අම්මා හදා දුන් තේ කෝප්පයද අතේ තබාගෙන රටේ නැති බයිලා කෙළිති.ආච්චි අම්මා වනාහි පෝයවල් දොළහටම සිල් ගෙන තවත් ඇත්නම් ඒවාටද සිල් ගන්නා වූ තැනැත්තියකි,සියා කල් යල් බලා ස්වර්ගස්ථ වී ඇත්තේද ඒ හේතුව නිසා යැයි මට සිතේ.අපේ අම්මාද ආච්චි අම්මගේම දුව යැයි මට සැක හැර දැනගන්නට හැකි වුයේ එවිටය.අම්මා, ආච්චි අම්මා කෙළින්නා වූ බයිලා සුරන්ගනා කතා මෙන් රස කරමින් අසාගෙන සිටී.අම්මා මා හට "මගුල් කෑම" හැර කිසි දිනෙක සුරන්ගනා කතා කියා දී නැති හෙයින් දෙන්නා අතර ඇති වූ සංවාදය මා හට අපගේ පාසලේ මිස්ගේ අදෝනාව මෙන්ම විය.ආපු වෙලාවේ සිට රේඩියෝව දැම්මා මෙන් කියවූ ආච්චි අම්මාට දැන් හතිය.


මා බාල කාලේ...


බාල කාලය වනාහී අහන අහන එකා කියන්නේ ෆට්ටාම ඒකක්‌ කියාය.එහෙයින් මාත් එසේම කියමි.ඇත්තටම එය එසේමය.එය එසේ වන්නට හේතුව ශිෂ්‍යත්ව විබාගය විය හැකිය.ශිෂ්‍යත්වයද යනු ෆට්ටාම එකකි.මා මොන්ටිසෝරි ගියේද ශිෂ්‍යත්වය කිරී‍මටය,පාරේ ඇවිදින විටද ශිෂ්‍යත්වය ය,කනවිටද ශිෂ්‍යත්වය ය,නාන විටද ශිෂ්‍යත්වය ය,කොටින්ම රාත්‍රි ආහාරයට පසු නින්දට යාමට පෙර දෙවරක් ශිෂ්‍යත්වය මෙනෙහි කර වරක් අමල් සහ නයනා සිහි කර තවත් වරක් අලගිය වන්න මුකවැටි තුමා සහ එස්.මහින්ද හාමුදුරුවන්ද සිහිකර..අවසානයේ අම්මාද සිහිකර මට නින්දට යෑමට විය.සියල්ල අවසන් කර නින්දට යෑමට සැරසෙත්ම අම්මා බෙරිහන් දෙයි.ඒ අන් කිසිවකට නොව..එළි වී ඇතැයි හැගවිමටය.එහෙයින් එය විබාගයක්‌ නොව අබාගයකි.නින්ද යාමට පෙර අවදි වන්නා වූ සෑම අයෙක්ම කියන්නේ බාල කාලේ හරිම සුන්දරයි කියාය.එය කිසිවෙකුටත් මුසාවක් කළ නොහැක.මන්ද මා එය අත්දැකීමෙන් පවසන්නක් නිසාය.

දැන් මා පාසල් යාමට සුදානම් විය යුතුය.නිදි මත තුරන් කිරී‍මේ පරමාර්ථයෙන් සිරිත් මල්දමේ කවි කිය කිය එන මා අම්මා ඇදගෙන ගොස් නාන කාමරයට දමා කරාමය ඇර ඔලුවට වතුර අල්ලයි.මද වෙලාවක් සිටි පසු මා පියවි සිහියට පැමිණේ.වෙඩි කාපු ඌරකු මෙන් ඇදුම් ඇදගන්නා මම බස් එක එන තෙක් පරිසරය පොත ගෙන බස් නැවතුම්පළ වටේ වැවී ඇති වල් පැලෑටි ගැන සමික්ෂණයක නිරත වෙයි.ඒ පරිසරයට ඇති ආදරය නිසා නොව කාලය රන් හා සමානය කියා කවුදෝ කියා ඇති නිසාය.එහෙයින් රන් යනු ඉතා වටිනා දෙයක් යැයි මා ඉටා ගතිමි,මා මෙන්ම අධ්‍යාපනයේ යෙදුනාවූ බොහෝ දෙනා අද පරිසරවේදීන්, රන් කරුවෝ සහ ඔරලෝසූ කාර්මිකයෝ වී ඇත්තේද ඒ නිසා යැයි මට සිතේ.බසයට නගින විට අම්මාගේ කටින් සෑමදිනකම පිටවුයේ "කෑගහන්නේ නැතුව,දගලන්නේ නැතුව ,මිස් කියන දේ අහගෙන ඉස්කෝලෙ ගිහින් වැඩ කරන්න" කියාය.ඒ නිසා මං බස් එකට නැග්ගේද අන් සියල්ලන්ම නැග්ගායින් පසුවය. පාසලට ගිය පසු විවේක කාලයේද මා ඇවිද්දේ සහ වැසිකිලි පවා ගියේ පෝලිමටය.මන්ද දිනක් පන්තියේ මිස් "අම්මා කියන දේවල් අහන්න ඕනෙ හොඳ ළමයි උනාම"කියා කියූ නිසාය...මිස් කියන දෙයද අම්මා කියන දෙයද වැඩියෙන්ම අහන්න ඕනෙ..යන පැනයට පිළිතුරු මම අදටද සොයයි.